Bahr (1914), Sweet and Dirckze (1925), Catre (1932), සහ Dassanayake (1936) විසින් රටේ ඇතැම් ප්‍රදේශවල මෙම රෝගය පවතින බව අවධානයට ලක්කරන ලදී. 1939 දී දසනායක විසින් මහා පරිමාණ සමීක්ෂණයක් කරන තෙක් රට තුළ බරවා රෝග ව්‍යාප්තිය හෝ ව්‍යාප්තියේ ප්‍රමානය දැන සිටියේ නැත. මෙම රෝගය දකුණු, වයඹ, නැගෙනහිර, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ප්‍රදේශවල බහුලව පවතින බව සොයා ගන්නා ලදී. රෝගය සඳහා වගකිව යුතු ප්‍රධාන විශේෂය වූයේ Brugia malayi (බෘගියා මලායි) ය. Bancroftian (බැන්ක්‍රොෆ්ටියන්) වර්ගය ප්‍රධාන වශයෙන් ගාල්ල සහ මාතර ප්‍රදේශවලින් හමු විය.
දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී වසර 1-2කට පමණ පසු, වසා පද්ධතිය ආසාදනය වූ රෝගීන් බොහොමයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1947 ඔක්තෝම්බර් 24 වන දින බරවා මර්දන ව්‍යාපාරය (Anti Filariasis Campaign-AFC) පිහිටුවන ලදී (3). මෙම ව්‍යාපාරය හරහා සිදු කරන ලද සමීක්ෂණ මගින් ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ, විශේෂයෙන් මීගමුව, දෙහිවල, කෝට්ටේ, කොළොන්නාව, පෑලියගොඩ, මොරටුව, බේරුවල, ඉඳුරුව, වේරගොඩ, ගාල්ල, වැලිගම සහ මාතර යන ප්‍රදේශවලට, ආසාදනය කේන්ද්‍ර ගත වී ඇති බව අනාවරණය විය. නාගරික ප්‍රදේශවල W. bancrofti ආසාදනය පැතිරී තිබුණු අතර ග්‍රාමීය ප්‍රදේශවල එය ප්‍රධාන වශයෙන් B. malayi ආසාදනයට සීමා විය.
ක්ෂුද්‍ර පණු අනුපාතය (mf rate) 1% ට වඩා අඩු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, 2016 දී ශ්‍රී ලංකාව, බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවනසේ තුරන් කල රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පරපෝෂිත හා කීට විද්‍යාත්මක සමීක්ෂණ හරහා රෝග සමීක්ෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීමට අදාලව, අපගේ හිටපු අධ්‍යක්ෂවරුන්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වරුන්, වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරීන්, කීට විද්‍යාඥයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්, සෞඛ්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය, කැපවීමෙන් සහ වෙහෙස මහන්සිවී රාජකාරි කිරීමෙන් ලද ප්‍රතිඵලයක් ලෙස මෙම සාර්ථකත්වයේ කතාව දැක්විය හැකිය.
දැනට, බරවා රෝගය පළාත් 3කට අයත් (බස්නාහිර, දකුණ සහ වයඹ) දිස්ත්‍රික්ක 8ක (කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල) ආවේණිකව පවතී. ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරීන් අට දෙනෙකු එම දිස්ත්‍රික්කවල බරවා මර්දන කටයුතු අධීක්ෂණය කරයි.
ශ්‍රී ලංකාවේ බරවා රෝග ඉතිහාසය පිළිබඳ පර්යේෂණ පෙන්වන පරිදි, 12-13 වන සියවස වලදී ලංකාව සහ අග්නිදිග ආසියාව අතර සමීප සබඳතා පැවති සමයේ කාලිංග රජුන් යටතේ මලය හමුදාවක් විසින් සිදු කරන ලද ආක්‍රමණයක් හා B. malayi පරපෝෂිතයා සම්බන්ධවේ. Wuchereria bancrofti පරපෝෂිතයා සැලකූවිට, 15 වන සියවසේ මුල් භාගයේ දකුණු වෙරළ තීරය ආක්‍රමණය කරන චීන හමුදාවක් වගකිව යුතුවේ (1). දශක කිහිපයකට පෙර පේරාදෙණියේ (2) සහ නැඟෙනහිර පළාතේ ආසාදිත රෝගීන් හමු වුවද, ශ්‍රී ලංකාවේ දකුණු සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ පමණක් බරවා රෝගය වැඩි වශයෙන් පැතිරී තිබුණේ මන්ද යන ප්‍රශ්නයටද මෙම තොරතුරු අර්ධ වශයෙන් පිළිතුරු සපයයි. අභ්‍යන්තර සංක්‍රමණයන් විශාල ප්‍රමාණයක් තිබියදීත්, මෙම රෝගය දකුණු සහ බටහිර වෙරළ තීරයට සීමාවීමට හේතු වී ඇත්තේ, වාහකයන් බෝ වීමට හිතකර දේශගුණික තත්ත්වයන් සහ මෙම ප්‍රදේශවල බෝවන ස්ථාන ආශ්‍රිතව ජිවත්වන, අවදානමට ලක්වූ අධික ජනගනත්වයත් වේ.
1912/1913 වසර වලදී නාගරික ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පළමු සමීක්ෂණය සිදු කරන ලද අතර, දෙවන සමීක්ෂණය, 1930 ගණන්වලදී ග්‍රාමීය ප්‍රදේශ කෙරෙහි අවධානයක් දී සිදු කරන ලදී. එහි ප්‍රතිඵලවලින් කැපී පෙනෙන පැතිරීම් රටාවක් පෙන්නුම් කර ඇත: “නාගරික විශේෂය” වන Wuchereria bancrofti ගාල්ල සහ මාතර නගරවල සංකේන්ද්‍රණය වී ඇති අතර, “ග්‍රාමීය විශේෂය” වන Brugia malayi බහුල වශයෙන් මාතර සිට මීගමුව දක්වා නිරිතදිග වෙරළ තීරයේ ද, වයඹ, මධ්‍යම උතුර, නැගෙනහිර සහ දකුණේ හුදකලාව කුඩා ප්‍රදේශ වලද පැතිරී තිබුණි. මෙම සමීක්ෂණය මගින් B. malayi බෝවීම, ඇතැම් ජල ශාක ව්‍යාප්තිය සමඟ යම් සම්බන්ධයක් ඇති බවට උපකල්පනය කිරීමට හේතු විය. පසුව, විශේෂයෙන් Pistia stratiotes සහ අනෙකුත් ජල ශාක, වාහකයාගේ [Taeniorhynchus (Mansonoides) uniformis] මුල් සංවර්ධන අවධීන් (ජලයේ) සදහා අත්‍යවශ්‍ය බව පැහැදිලි වීමෙන් මෙය තහවුරු විය (1).