ප්‍ර: බරවා රෝගය යනු කුමක්ද?

පි: බරවා රෝගය, ශ්ලීපදය ලෙස ද හැඳින්වෙන අතර, එය වාහකයන් මගින් බෝවන රෝගයකි. එහිදී බරවා පරපෝෂිතයන් මදුරුවන් හරහා මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. මෙම පරපෝෂිතයා වසා පද්ධතියට හානි සිදු කරන අතර මිනිසුන් තුල ජීවිත කාලය පුරාවටම  පවතින, බොහෝසේ විකෘති වූ, ස්ථිර ආබාධිත තත්වයන් ඇති කරයි. බරවා රෝගය, ලොව පුරා ස්ථිර ආබාධිත තත්ත්ව  ඇතිකරන 4 වන ප්‍රධාන හේතුව වේ. (ලෝක සෞඛ්‍ය සංවිධානය, 1998). සායනික රෝග ලක්ෂණ අතර ඉදිමුණු අත් පා, පියයුරු සහ ලිංගේන්ද්‍රිය හෝ බොහෝ සේ ඝන වූ, දැඩි වූ රළු සමක් සමග ඉදිමුණු අත් පා ඇතුළත් වේ. බරවා රෝගය බොහෝ දුරට නිවර්තන කලාපවල බහුලව පවතින අතර එය නූල් වැනි පණුවන් (ක්ෂුද්‍ර පණුවන්) මගින් ඇති කරන පරපෝෂිත රෝගයකි. සෑම වැඩිහිටි පණුවෙකුම මිනිස් වසා පද්ධතියේ වසර 4-6 ක් පමණ ජීවත් වන අතර ගැහැණු පණුවන් මිලියන ගණනක් ක්ෂුද්‍ර පණුවන් (නොමේරූ පණුවන්) මුදා හරින අතර, රුධිරයේ සංසරණය වී පසුව මදුරුවන් විසින් ලේ උරා බිමේදී මදුරුවා තුලට ඇතුළුවී වෙනත් පසුව වෙනත් මිනිසෙකුට සම්ප්‍රේෂණය වීම සිදුවේ.

ප්‍ර: බරවා රෝගය ඇති කරන පරපෝෂිත විශේෂ මොනවාද?

පි:බරවා රෝගය ඇති කරන පරපෝෂිතයන් වර්ග තුනක් වුවද, ශ්‍රී ලංකාවේ Wuchereria bancrofti සහ Brugia malayi  යන විශේෂ දෙකක් පමණක් වාර්තා වේ. ලංකාවේ වඩාත් බහුලව දක්නට ලැබෙන පරපෝෂිතයා වන්නේ Wuchereria bancrofti ය.

ප්‍ර: රෝගය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද?

පි: එය මදුරුවන් හරහා සම්ප්‍රේෂණය වේ. ශ්‍රී ලංකාවේ බරවා රෝගය බෝ කරන මදුරුවන් වර්ග දෙක වන්නේ Wuchereria bancrofti පරපෝෂිතයා (නාගරික බරවා රෝගය) සම්ප්‍රේෂණය කරන Culex quinquefasciatus සහ Brugia Malayi පරපෝෂිතයා (ග්‍රාමීය බරවා රෝගය) සම්ප්‍රේෂණය කරන Mansonia මදුරු විශේෂයි.

ප්‍ර: ඉහත මදුරුවන් දෂ්ට කරන වේලාවන් මොනවාද?

පි: Culex quinquefasciatus මදුරුවා රාත්‍රී දෂ්ට කරන්නෙකු වුවද (ප.ව. 10.00 සිට පෙ.ව. 2.00 දක්වා), මැන්සෝනියා මදුරුවන් දිවා කාලයේදී  පවා මිනිසුන්ට දෂ්ට කරයි.

ප්‍ර: වාහකයින් (මදුරුවන්) බෝවන ස්ථාන මොනවාද?

පි: Culex quinquefasciatus ගැහැණු මදුරුවන් බෝ වන්නේ එකතැන රැඳී ඇති අපිරිසිදු ජලයේ ය. උදා: අවහිර වූ කාණු, කැඩුණු වැසිකිලි වලවල් සහ අනෙකුත් දූෂිත ජල එකතු වී ඇති ස්ථාන

මැන්සෝනියා ගැහැණු මදුරුවන් බෝ වන්නේ ජලජ ශාක (සැල්වීනියා, Pistia පැල) සහිත ජලය රැඳෙන ස්ථාන වලය.

ප්‍ර: මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

පි: මදුරු විකර්ෂක (දුම්, වාෂ්ප හෝ ක්‍රීම්) භාවිතා කරන්න. රාත්‍රියේදී මදුරු දැල් භාවිතය සහ දිගු ලා පැහැති ඇඳුම් අඳින්න.

ප්‍ර: බරවා රෝගයේ ලක්ෂණ මොනවාද?

පි: ආසාදනය වූ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ මතු නොවේ. රාත්‍රී කාලයේ උණ, රාත්‍රී කැස්ස, වසා ගැටිති විශාල වීම හෝ කසන සුළු රතු පැහැ ලප වැනි විශේෂිත නොවන රෝග ලක්ෂණ සමහරුන් තුල මතුවේ.

රෝගයේ අවසාන භාගයේදී, කකුල්, අත්, ලිංගේන්ද්‍රිය, පියයුරු වැනි ශරීර කොටස් ඉදිමීම සිදුවන්නේ වසා පද්ධතියට, පරපෝෂිතයා සහ එහි ස්‍රාවයන් නිසා ඇති වන හානිය හේතුවෙනි.

ප්‍ර: බරවා රෝගය හඳුනා ගන්නේ කෙසේද?

පි: ශ්‍රී ලංකාවේ, බරවා රෝගය ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නේ රාත්‍රී රුධිර පරීක්ෂාව (Night Blood Film: NBF) මගිනි. තවද, බරවා ප්‍රතිදේහ ජනක පරීක්ෂණය (Filaria Antigen Test: FAT) සහ බරවා ප්‍රතිදේහ පරීක්ෂණය (Filaria Antibody Test: Ig M සහ Ig G) ද, බරවා රෝගීන් තහවුරු කිරීම සඳහා භාවිතා කල හැකිය.

ප්‍ර: බරවා රෝගය සඳහා ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද?

පි: බරවා සහිත බවට සොයා ගන්නා ලද රෝගීන් හට DEC (Diethylcarbamazine) සහ Albendazole නැමැති ඖෂධ ලබාදී ප්‍රතිකාර කරනු ලැබේ. DEC ඖෂධය දින 12 ක කාලයක් සඳහා නියම කරනු ලබන අතර පුද්ගලයාගේ ශරීර බර අනුව මාත්‍රාව ගණනය කෙරේ. Albendazole ඖෂධය තනි මාත්‍රාවක් ලෙස දෙනු ලැබේ.

අවයව ඉදිමීම (අත්, පාද, පියයුරු සහ වෘෂණකෝෂ) සහිත රෝගීන්, බරවා මර්දන ඒකකය සහ ආවේණික දිස්ත්‍රික්ක අටක (පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට) පිහිටා ඇති ප්‍රාදේශීය බරවා  මර්දන ඒකක මගින් පවත්වනු ලබන සායන වෙත යොමු කරනු ලැබේ.

ඉදිමීම කළමනාකරණය මගින් අත්පා ඉදිමීමෙන්ද ශල්‍යකර්ම කිරීම මගින් වෘෂණකෝෂ විශාල වීමෙන්ද ඇතිවන දුබලතාවයන් අවම කර ගැනීම සඳහා හැකිය.

වැඩිහිටි පණුවන් මිය ගිය පසු පවා අවයව ඉදිමීම සිදු විය හැකිය. පහත දැක්වෙන ක්‍රම මගින් ඉදිමුණු අවයවයන් වඩාත් නරක තත්වයකට පත් වීම වලක්වා ගත හැකිය.

  • සෑම දිනකම සබන් හා වතුරෙන් ඉදිමුණු ප්‍රදේශය ප්‍රවේශමෙන් සෝදා වියළා ගන්න. කට්ට සහිත කොටස් සහ පාදයේ ඇඟිලි අතර තෙත මාත්තු කර වියළා තබා ගන්න.
  • වසා තරලය ගමන් කිරීම පහසු කිරීම සඳහා දිවා කාලයේ සහ රාත්‍රියේදී ඉදිමුණු අත හෝ පාදය ඔසවා තබන්න. ව්‍යායාම මගින් ද මෙම තත්වය වැඩි දියුණු කර ගැනීමට හැකිය.

තුවාල තිබේ නම් විෂබීජහරණය කරන්න. අවශ්‍ය නම් බැක්ටීරියානාශක හෝ දිලීරනාශක ක්‍රීම් භාවිතා කරන්න.

පාද වල තුවාල ඇතිවීම වැළැක්වීම සඳහා පාදයේ ප්‍රමාණයට අනුවර්තනය වූ සපත්තු පළඳින්න.

ප්‍ර: එක් දින ප්‍රතිකාරය යනු කුමක්ද?

පි: ක්ෂුද්‍ර පණු ඝනත්වය සහ සම්ප්‍රේෂණය අඩු කිරීම සඳහා DEC සහ Albendazole යන ඖෂධ දෙකම මහා පරිමාණයෙන් ප්‍රජාවට තනි මාත්‍රාවක් ලෙස ලබා දීම, එක දින ප්‍රතිකාරය ලෙස හැඳින්වේ.

ප්‍ර: ප්‍රජාවට එක් දින ප්‍රතිකාරය ලබා දෙන්නේ කුමන අවස්ථාවකදී ද?

පි: එක් දින ප්‍රතිකාරය ලබා දෙන්නේ කවදාද, කොතැනද සහ කෙසේද යන්න තාක්ෂණික වශයෙන් සලකා බලා තීරණය කරනු ලබන්නේ බරවා මර්දන ව්‍යාපාරය විසිනි. දැනට, බරවා රෝගියෙකුගේ නිවසේ සිට මීටර් 500ක වපසරියක් තුළ සිටින ප්‍රජාවට එක් දින ප්‍රතිකාරය ලබා දෙනු ලැබේ.

ප්‍ර: එක් දින ප්‍රතිකාරය ලබා දිය යුත්තේ කාටද?

පි: අවුරුදු 2 ට වැඩි සියලුම පුද්ගලයින්ට මෙම ප්‍රතිකාරය ලබා දිය හැකිය. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට ද මෙම ප්‍රතිකාරය ලබා දිය හැකිවේ.

වයස අවුරුදු 2ට අඩු දරුවන්, කිරි දෙන මව්වරුන් (අවුරුදු 2ට අඩු දරුවන් සහිත), ගර්භනී මව්වරුන් සහ අසාධ්‍ය රෝගීන් හට එක් දින ප්‍රතිකාරය ලබා නොදේ.

ප්‍ර: රෝග ප්‍රතිකාර/ එක් දින ප්‍රතිකාරය ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

පි: ඖෂධ මගින්, රුධිර ප්‍රවාහයේ ඇති ක්ෂුද්‍ර පණු ඝනත්වය ඵලදායී ලෙස අඩු කිරීම මගින් මිනිසුන්ගෙන් මදුරුවන් වෙත පරපෝෂිතයන් සම්ප්‍රේෂණය වීම  වළක්වයි.

ප්‍ර: ඖෂධවල අතුරු ආබාධ මොනවාද?

A: අතුරු ආබාධ දක්නට ලැබෙන්නේ අඩු වශයෙනි. තවද ආහාර ගැනීමෙන් පසුව ඖෂධ භාවිතා කිරීමෙන්, අතුරු ආබාධ අඩු කර ගත හැකිවේ. හිසරදය (මද වශයෙන්), ඔක්කාරය, කරකැවිල්ල සහ සමෙහි රතු පැහැති ලප කලාතුරකින් වාර්තා වී ඇත.

පහත සඳහන් අතුරු ආබාධ කිසිවක් ඇති වුවහොත් ඔබේ වෛද්‍යවරයා හමුවන්න:

බහුලව දක්නට ලැබෙන

(අ) මුහුණ කැසීම සහ ඉදිමීම, විශේෂයෙන් ඇස්

(ආ) උණ

(ඇ) බෙල්ලේ, කිහිලිවල හෝ ඉකිලිවල ඇති වේදනාකාරී සහ වසා ගැටිති

(ඈ) සමේ පළු මතුවීම

 

පහත සඳහන් අතුරු ආබාධ කිසිවක් ඇති වුවහොත් හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න:

(අ) පෙනීම නැති වීම

(ආ) රාත්‍රී අන්ධභාවය

(ඇ) පෙනීමේ පරාසය පටුවීම.

 

සාමාන්‍යයෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවන සමහර අතුරු ආබාධ ඇති විය හැකිය. ප්‍රතිකාර අතරතුර ඔබේ ශරීරය ඖෂධයට හැඩගැසෙන විට මෙම අතුරු ආබාධ පහව යා හැක. එසේම, ඔබේ වෛද්‍යවරයා මෙම අතුරු ආබාධ වළක්වා ගැනීමේ හෝ අඩු කිරීමේ ක්‍රම පිළිබඳව ඔබට පැවසිය හැකිය. පහත සඳහන් අතුරු ආබාධවලින් එකක් දිගටම පවතින්නේ නම් හෝ කරදරකාරී නම් හෝ ඔබට ඒවා ගැන කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කරගන්න:

බහුලව දක්නට ලැබෙන

(අ) හිසරදයක්

(ආ) සන්ධි වේදනාව

(ඇ) අසාමාන්‍ය තෙහෙට්ටුව හෝ දුර්වලතාවය

(අ) කරකැවිල්ල

(අ) ඔක්කාරය හෝ වමනය

ප්‍ර: ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර තිබේද?

පි: ශ්‍රී ලංකාව 2016 වසරේදී, බරවා රෝගය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන සේ තුරන් කළ රටක් ලෙස වලංගු විය. ආවේණික දිස්ත්‍රික්කවල වෙරළබඩ තීරයේ ඉතා අඩු ශ්‍රේණියේ සම්ප්‍රේෂණයක් අඛණ්ඩව සිදුවෙමින් පවතී.