බරවා මර්දන ව්‍යාපාරය සහ ප්‍රාදේශීය බරවා මර්දන ඒකක මගින් බරවා රෝගයෙහි ආවේක්ෂණ කටයුතු පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිදු කරනු ලැබේ. ආවේණික දිස්ත්‍රික්ක වල, මෙම ආවේක්ෂණ කටයුතු මුහුදුබඩ ප්‍රදේශ වලින් පටන් ගෙන ගොඩබිම තුලට කරගෙන යනු ලබයි. ශ්‍රී ලංකාවේ බරවා රෝගීන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රධාන පරීක්ෂණය වන්නේ රාත්‍රී රුධිර පටල පරීක්ෂාවයි. මෙය මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් මගින් ගෙයින් ගෙට ගොස් රාත්‍රී 8 -11 අතර කාලයේදී සිදු කරනු ලබයි.

මීට අමතරව, රාත්‍රී රුධිර පටල පරීක්ෂාව සිදු කරන සායන ද බරවා රෝගයට ආවේණික දිස්ත්‍රික්ක වල පැවැත්වෙයි. මෙම සායන රාත්‍රී 8 සිට 10 දක්වා පැවැත්වෙන අතර ප්‍රදේශවාසීන් මෙන්ම සංක්‍රමණික සේවකයින් ද මෙහි සේවය ලබා ගැනීමට පැමිණෙති. වෛද්‍ය යොමු කිරීම් හරහා මෙන්ම එසේ නොමැතිව තම අවශ්‍යතාවයන් මත පැමිණීමෙන්ද මෙම සේවාව ලබාගත හැකිය.  මීට අමතරව සුලභතාවය මත හා අවශ්‍යතාව පරිදි ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක පරීක්ෂාවන් ද සිදු කෙරේ.

යම් පුද්ගලයකු බරවා ආසාධිත බවට වාර්තා වූ විට, අදාළ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරිවරයා  එම රෝගියාගේ නිවසට ගොස් අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා දේ.